Abstract:
යාතුකර්ම යනු ලාංකේය සමාජයේ සිංහල සංස්කෘතිය සමඟ ඉතා සමීපව බැඳි ඇති සුව කිරීමේ ප්‍රතිකර්මයක් ලෙස හඳුනාගත හැකිය. මෙම ප්රතිකර්මය තොවිලය යන ලාංකේය ස්වදේශීය යාතුකර්මය සමඟ නිතැතින්ම බැඳි පවතින අතර, ඒ සම්බන්ධ සමාජ මානව විද්‍යාත්මක කතිකාව ප්‍රබල සමාජ අවධානයක් සහ වටිනාකමක් සහිත වේ. මෙම පර්යේෂණය යක්ෂාවේශය සඳහා වන සුව කිරිමේ ප්‍රතිකාර ක්‍රමයක් ලෙස තොවිලය සම්බන්ධයෙන් එම තොවිලයේ ප්‍රධානම කාර්යයභාරයක් ඉටු කරන්නා වු යකැදුරන් සහ ඔවුන්ගේ ආවතේවකරුවන් පරිකල්පනය කරනුයේ කෙසේද යන ගැටලුව කේන්ද්‍ර කරගනිමින් කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, මිගහතැන්න ග්‍රාම නිලධාරි වසම තුළ අරමුණු සහගත ලෙස තෝරාගත් යකැදුරන් පස් දෙනෙකුගෙන් (05) සහ අවතේවකරුවන් පස් දෙනෙකුගෙන් (05) සමන්විත නියැදියක් මඟින් ව්‍යුහගත නොවන සම්මුඛ සාකච්ඡා හරහා ලබා ගත් ගුණාත්මක දත්ත ඔස්සේ සිදු කරන ලද්දකි. ප්‍රධාන වශයෙන්ම ක්ෂේත්රයේ ප්රකටව පවතින යාතුකර්ම කිහිපයක් තෝරා ගනිමින්, ඒවා අදාළ ප්රතිචාරකයින්ගේ පර්යාවලෝකයෙන් විමසීම මෙහි දී සිදු කර ඇත. අවට සමාජයේ පවත්නා නිරවද්‍යතාවය, විද්‍යාත්මකව සහ තාර්කිකව විමසීමට වර්තමානය වන විට විද්‍යාව පූර්ණ වශයෙන් සමර්ථ වී නැත. එයින් ගම්‍යමාන වන්නේ විද්‍යාවේ සත්‍යතාවය රැඳි ඇත්තේ නව මතයක් එළි දැක්වීම තුළ පමණක් වන බවයි. නමුත් සාම්ප්‍රදායික චින්තනය වෙනස් නොවෙතැයි කිව නොහැකිය. කිව හැක්කේ ඒම චින්තනය වෙනස් වන්නේ ඉතා දීර්ඝ කාලයක් ගත වීමෙන් පසුව බවයි. සිංහල සමාජයේ යාතුකර්ම ඔස්සේ එකී ස්වභාවය ඉතා යෝග්‍ය ලෙස විද්‍යමාන වේ.