Abstract:
ශ්‍රී ලංකාවේ පරිභෝජනය කරන එළවළු අතරින්, මෑ කරල් යනු ඉහල පෝෂණ ගුණයක් සහිත ජනප්‍රිය එළවළුවකි. ලොව පුරා එය වාණිජමය වශයෙන් වගා කරන අතර, එහි කරල් ආසියාව, අප්‍රිකාව, දකුණු ඇමරිකාව සහ දකුණු යුරෝපය ආවරණය වන නිවර්තන සහ උපනිවර්තන කලාපවල පරිභෝජනය කරයි. මෑ කරල්වල ආයු කාලය කෙටිය. අස්වනු නෙලීමෙන් පසු කරල් දුඹුරු පැහැ වීම, විජලනය සහ මෘදුවීම නිසා එහි වටිනාකම අඩුවන අතර ප්‍රවාහනයේදී සහ විකිණීමේදී අඩු ගුණාත්මක බවක් ඇති කරයි. අඩු උෂ්ණත්ව ගබඩා කිරීම මඟින් මෑ කරල් කල්තබා ගත හැකි වුවද, කරල් සිසිල්- සංවේදී (chilling-sensitive) වන අතර 10 ⁰C ට අඩු උෂ්ණත්වවලදී දින කිහිපයකට පසුව හානි විය හැක. එතිලින් මඟින් එළවළුවල ගුණාත්මක පිරිහීම වේගවත් කරයි. 1- මෙතිල්සයික්ලොප්රොපීන් යනු එතිලින් ප්‍රතිග්‍රාහක සමඟ අන්තර්ක්‍රියා කිරීමෙන් එළවළුවල එතිලින් සංඥා කිරීම වලක්වන එතිලින් ක්‍රියාකාරීත්ව නිශේධකයකි. 1- මෙතිල්සයික්ලොප්රොපීන් වල ඇති විෂ නොවන ක්‍රියාකාරීත්වය, අඩු වියදම සහ අපද්‍රව්‍ය ඉතිරි නොවීම වැනි ගුණාංග නිසා පසු අස්වනු එළවළු සංරක්ෂණය සදහා විදේශ රටවල බහුලව භාවිතා කරයි. නමුත්, මෑ කරල්වල පසු අස්වනු ආයු කාලය සහ පසු අස්වනු ගුණාත්මකභාවය කෙරෙහි 1- මෙතිල්සයික්ලොප්රොපීන්වල බලපෑම අඩු වශයෙන් අධ්‍යනය කර ඇති අතර හවරි මෑ සහ මස් මෑ ප්‍රභේද පිළිබද වාර්තා නොමැත. එබැවින් මෙම අධ්‍යනයේ අරමුණ වන්නේ එම ප්‍රභේද දෙකෙහි පසු අස්වනු ආයු කාලය සහ පසු අස්වනු ගුණාත්මකභාවය කෙරෙහි 1- මෙතිල්සයික්ලොප්රොපීන්වල බලපෑම විශ්ලේෂණය කිරීමයි.